උණුසුම් කාලගුණය දිගටම තිබුණොත් කළ යුත්තේ කුමක්‌ද

12:08:00 PM max 0 Comments

 
ආචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, භෞතික විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

අප රටේ භූගෝලීය පිහිටීම අනුව, සමකයට ආසන්නව පිහිටා ඇති රටක්‌ නිසාවෙන් රටේ සාමාන්‍ය උෂ්ණත්වය සමකයට ඈතින් ඇති රටවලට සාපේක්‌ෂව තරමක්‌ වැඩි ය. එහි මධ්‍යනය අගය 27 C පමණ වේ. නමුත් අප රටේ භූ විෂමතාවය අනුව විවිධ දේශගුණික කලාප පවතින බැවින්, සාමාන්‍යයෙන් වසරක්‌ පුරා, රටේ විවිධ ප්‍රදේශවල උෂ්ණත්වය 8 C - 35 C යන උෂ්ණත්ව පරාසය තුළ වෙනස්‌ වේ. එමෙන්ම සාමාන්‍ය වැඩුණු පුරුෂයෙකුගේ ශරීර උෂ්ණත්වය 36.7 C හෙවත් 98.4 F බැවින් අප රට තුළ සිටින කිසිම පුද්ගලයෙකුට විශේෂ තත්ත්වවල දී හැර තම ශරීර උෂ්ණත්වයට වඩා වැඩි පරිසර උෂ්ණත්ව වලට භාජන වීමට සිදු නොවේ. එබැවින්ම අප වාසනාවන්ත කාලගුණයක්‌ පවතින රටක ජීවත්වන්නේ යෑයි අපට සතුටු විය හැකි ය.

එහෙත්, අපි 'අද හරි රස්‌නෙයි නේද?' කියා පවසන්නේ, පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා පමණක්‌ නොවේ. එයට ප්‍රධානම සාධකය සපයනු ලබන්නේ 'වාතයේ ආර්ද්‍රතාවයි. මෙය සරල වචන වලින් පවසතොත්, සාමාන්‍ය වාතයේ ඇති තෙත් හෝ වියළි බව වේ. වාතයේ තෙත් බව වැඩි වූ විට හෙවත් වියලි බව අඩු විට අප ආර්ද්‍රතාවය වැඩි යෑයි කියනු ලැබේ. තවද ආර්ද්‍රතාව වැඩි වූ විට, අපට දහදිය දැමුවිට ඒවා වාෂ්පවී යැමේ හැකියාව අඩු ය. මක්‌නිසාදයත්, පරිසරයේ තෙතමනය වැඩි බැවින්, අපගේ සම මතුපිට ඇති දහදිය බිඳු පරිසරයට වාෂ්පවී යැමට එතරම් පහසු නැත. එවිට අපට යම් අපහසුතාවයක්‌ දැනේ. තදින් ඉර පායා ඇති දිනක අපට වැඩිපුර දහදිය දමන බැවින්, එම දහදිය පරිසරයට වාෂ්පවී යැමේ හැකියාව අඩු නිසා අපට දැනෙන අපහසුතාවය වඩා වැඩි ය. මෙවිට අප 'හරි රස්‌නෙයි' යයි කියන්නෙමු.

ලංකාවේ දේශගුණය

අප රට ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප තුනකට බෙදා ඇත. ඒවා නම්, තෙත් කලාපය, වියලි කලාපය හා අතරමැදි කලාපය වශයෙනි. මෙම තෙත් කලාපය ලෙස හඳුන්වන්නේ, වාර්ෂික වර්ෂාපතනය 2500 පප ට වඩා වැඩි හා සාපේක්‌ෂ ආර්ද්‍රතාව 70% සිට 95% පමණ දක්‌වා පවතින ප්‍රදේශයයි. එමෙන්ම, අතරමැදි කලාපය ලෙස හඳුන්වන්නේ, වාර්ෂික වර්ෂාපතනය 2500 mm) 1750 පප අතර අගයක්‌ ගන්නා හා සාපේක්‌ෂ ආර්ද්‍රතාව තෙත් හා වියළි කලාපවල අගයයන්ට අතරමැදි (නිවැරැදිව කිව නොහැක) අගයක්‌ ගන්නා ප්‍රදේශයයි. වියළි කලාපය  ලෙස හඳුන්වන්නේ, වාර්ෂික වර්ෂාපතනය 1750 පප ට වඩා අඩු හා සාපේක්‌ෂ ආර්ද්‍රතාව 50% සිට 70% පමණ දක්‌වා පවතින ප්‍රදේශය යි. එබැවින් ඔබ පදිංචිව සිටින ප්‍රදේශය මතá ඔබ ජීවත්වන පරිසරයේ ආර්ද්‍රතාව අඩු අගයක්‌ ද නැතහොත් වැඩි අගයක්‌ ද යන්න තීරණය වේ. ඒ අනුව ම ඔබට දහදිය දැමුවිට ශරීරයට යම් අපහසුතාවයක්‌ දැනේ ද එසේත් නොමැති නම් පහසුවක්‌ දැනේ ද යන්න තීරණය වේ.

සූර්යයාගේ බලපෑම

වර්තමානයේ සිදුවී ඇති ප්‍රධාන කාලගුණික විපර්යාසයට මුලික ම හේතුව එම ආර්ද්‍රතාවම වන අතර එයට සුර්යයා ද කිසියම් සැලකිය යුතු අමතර බලපෑමක්‌ සිදුකොට ඇත. පෘථිවිය, සුර්යයා වටා ඉලිප්සාකාර කක්‌ෂයක ගමන් කරන බව අපි දනිමු. අප එය පහසුවට අසන්න වශයෙන් වෘත්තාකර කක්‌ෂයක ගමන් කරන්නේ යයි සලකන අවස්‌ථා තිබුන ද, සත්‍ය වශයෙන්ම පෘථිවිය, සුර්යයා වටා ගමන් කරනුයේ ඉලිප්සාකාර කක්‌ෂයක වේ. මෙය සාපේක්‌ෂව බැලුවිට සුර්යයා, පෘථිවිය වටා ඉලිප්සාකාර කක්‌ෂයක ගමන් කරන්නේ යයි සැලකුව ද වැරදි නැත.

මෙම 2016 වසරේ දී මෙලෙස පෘථිවිය සුර්යයාට ආසන්නවම ගමන් කරන කාල වකවානුව අප්‍රේල් 05 සිට අප්‍රේල් 14 දක්‌වා ය. එබැවින් එම කාලය තුළ පොළොවට පතිතවන සුර්ය විකිරණවල තීව්‍රතාව හෙවත් ප්‍රබල බව වැඩි ය.

සාමාන්‍යයෙන් අප පරිසර උෂ්ණත්වය යයි පවසනුයේ පරිසරයේ ඇති නිදහස්‌ වායුගෝලයේ උෂ්ණත්වය වේ. කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා මෙය 20දC - 34දC ලෙස වෙනස්‌ විය හැකි ය. ඉතාමත්ම සරල ආකාරයට පවසතොත්, මෙම උපරිම උෂ්ණත්වය හටගෙන ඇති ආකාරය මෙලෙස පැහැදිලි කල හැකි ය. සුර්යයාගෙන් පොළොවට පැමිණෙන විකිරණ හේතුවෙන් පොළොව රත් වේ. මෙම තාපය සංවහන වායු ධාරා මගින් පොළොවට ඉහලින් ඇති වායුගෝලය වෙත ගමන් කරයි. මේ හේතුවෙන්, වායුගෝල උෂ්ණත්වයේ උපරිම අගය 34දC පමණ විය හැකි ය. නමුත් සුර්ය තාපය නිසා රත්වූ පොළොවට ඔබ අත තබා බැලුවහොත් එය වැඩිපුර රත්වී ඇති බව ඔබට දැනේ. ඉන් අදහස්‌ වනුයේ එහි උෂ්ණත්වය 34දC වඩා වැඩි බව යි. එයට හේතුව, තාප සංවහනයට අමතරව තාප සන්නයනය නිසා ද පොළොව සිට ඔබගේ අත වෙත ගලන තාපය නිසාය. නමුත් අප පරිසර උෂ්ණත්වය යෑයි හඳුන්වන්නේ එම තාප ප්‍රමාණයට අදාළ උෂ්ණත්වය නොවේ. අප වායුගෝලයේ පවතින සාමාන්‍ය සංවහන වායු ධාරා නිසා ඇතිවන උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය වේ.

උෂ්ණත්වය පාලනය

දහවල් කාලයට අමතරව සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ උෂ්ණත්වය ස්‌වාභාවිකව ම අඩු අගයක්‌ ගනී. එබැවින් රාත්‍රී කාලය තරමක්‌ සිසිල් ස්‌වභාවයක්‌ පෙන්නුම් කරයි. මෙය සිදුවන ආකාරය මෙලෙස පැහැදිලි කළ හැකි ය. දහවල දී පොළොව මගින් උරාගන්නා ලද සුර්යය විකිරණ හේතුවෙන් පොළොවේ උෂ්ණත්වය ඉහල යන අතර එය දහවල් කාලයේ දිගින් දිගට ම සිදුවේ. නමුත් සුර්යයා බැස ගිය පසු පොළොව තවදුරටත් සුර්ය විකිරණ හේතුවෙන් රත්වන්නේ නැත. එවිට අහස පවතින්නේ සුර්යයාට විරුද්ධව ඇති සිසිල් විශ්වයට මුහුණ ලා බැවින් පොළොවෙන් තාපය වායුගෝලය හරහා විශ්වය වෙත මුදාහරිනු ලැබේ. එබැවින් පොළොව දිගින් දිගට ම සිසිල් වේ. පාන්දර දෙකට තුනට පමණ අවට පරිසරය උපරිම සිසිල් බවක්‌ පෙන්වයි. නමුත් සමහර දිනවලදී, පාන්දර කාලයේ දී පවා අපට අවට පරිසරය උණුසුම් ව දැනෙන අතර ගතට දහදිය දමා දැඩි අපහසුතාවයක්‌ ද දැනේ. එයට ප්‍රධානත ම හේතුව ලෙස පැවසිය හැක්‌කේ අහස වලාකුළු වලින් පිරී තිබීම ය. රාත්‍රී කාලයේදී අහස වලාකුළු වලින් පිරි තිබෙන විට දී පොළොවෙන් විශ්වය වෙත මුදාහරිනු ලබන තාපය, අහසේ ඇති වලාකුළු වලින් පරාවර්තනය කොට, විශ්වය වෙත යාමට ඉඩ නොදී නැවත පොළොවට ම හරවා එවනු ලබයි. මෙවිට පොළොව සාමාන්‍ය ආකාරයට සිසිල් වන්නේ නැත. එවිට අපට වැඩිපුර රස්‌නය දැනෙන නිසා දැඩි අපහසුතාවක්‌ දැනෙනු ඇත.

මේ කාලයේ දී හෙවත් අප්‍රේල් මාසය තුළ සහ මැයි මස මුල කාල පරාසය අපට ඉහත සඳහන් සියලුම අයහපත් සාධක වලට මුහුණ දීමට සිදුවේ. එනම් සුර්යයා වෙනත් කාලවලට වඩා පෘථිවියට ආසන්නව ගමන් කරයි. ඊට අමතරව, තෙත් කලාපයේ ජීවත්වන අයට පරිසරයේ අර්ධතාවය ඉතා වැඩි බැවින් දැනෙන අපහසුතාව ඉතා වැඩි ය. එමෙන්ම, වියලි කලාපයේ ජීවත්වන අයට ද පරිසරයේ අර්ධතාවය සාපේක්‌ෂව අඩු අගයක්‌ ගත්ත ද එංගලන්තය වැනි රටකදී මෙන් අඩු ම අගයක්‌ නොගනී. මීට අමතරව බොහෝ දිනවල දි රාත්‍රි කාලයේ අහස වලාකුළු වලින් පිරි පවතී. මෙම හේතු ප්‍රත්‍යයන් නිසා අපට දැඩි අපහසුතාවක්‌ දැනේ. එයට අමතරව අපගේ නො දැනුවත්කම නිසා ද අප මෙම අපහසුතාවය වැඩිකර ගැනීමට යම් යම් දෑ සිදුකරනු ලබයි. ඒවා අතර ප්‍රධාන වශයෙන් මෙම කරුණු ඉදිරිපත් කළ හැකි ය. ඒවා නම්, අප දහවල් කාලයේ ඇවිදින විට තද පැහැති ඇඳුම් භාවිතා කිරීම, භාවිතාකරන ඇඳුම් ස්‌වභාවික කපු ඇඳුම් නොවීම, නිවාස වල පිට සහ ඇතුලත බිත්තිවලට තද පාට තීන්ත අලේප කර තිබීම, පොළොවට තද පාට තීන්ත, ටයිල් හෝ ටෙරාසෝ භාවිතාකර තිබීම, දහවල් කාලයේ දී නිවෙස්‌වල හා කාර්යාල කාමරවල ජනේල වසා තැබීම, භාවිතාකිරීමට තෝරාගෙන ඇති වාහනයේ වර්ණය තද පාට එකක්‌ වීම, යනාදිය යි. මේ හේතු නිසා ද ඔබට වැඩිපුර අපහසුතාවයට භාජන වීමට සිදුවේ.

උණුසුමෙන් මිදීමේ මඟ

ඔබ දහවල් කාලයේ අව්වේ ඇවිදින විට හෝ දහවල් කාලයේ අව්වේ ඇවිදිමට සිදුවන ගමනක්‌ යාමට සැරසෙන විට, ලා පැහැති ඇඳුම් පමණක්‌ භාවිතා කිරීමට වග බලා ගත යුතු අතර සියලුම ඇඳුම් සියුම් කපු රෙදිවලින් මැසූ ඒවා පමණක්‌ භාවිතා කරන්න. විශේෂයෙන් ම යට ඇඳුම් හා මේස්‌ ආදිය පවා සියුම් කපු ඒවා භාවිතා කරන්න.

ඔබ අව්වේ ගමන් කරන විට කුඩයක්‌ ඉහලාගෙන නොයන්නේ නම් අඩුම තරමින් හිස්‌ වැසුමක්‌වත් පැළඳීම ඉතා සුදුසු ය. එමෙන්ම නිතර නිතර ජලය පානය කිරීම ද ඉතාමත් යෝග්‍ය ක්‍රියාවකි. තවද නිතර මුහුණ, බෙල්ල හා අතපය තෙත මාත්තු කිරීම ඉතා සුදුසුය. අව්වේ ගමන් කරන විට දහදිය දමද්දී, එම දහදිය නිතර නිතර ලේන්සු වලින් පිස දැමීම යෝග්‍ය නොවන අතර, ඒවාට ස්‌වාභාවිකව ම වාෂ්ප වී යාමට ඉඩ දෙන්න. ඒ සඳහා පවන් සලා ගැනීම වඩා යෝග්‍ය ය. එවිට ඔබගේ සම සිසිල් වේ.

ඔබගේ නිවස තවමත් හදමින් පවතින එකක්‌ නම් නිවාසවල පිටත සහ ඇතුලත බිත්තිවලට සුදු හෝ සුදු පැහැයට ආසන්න ලා පාට තීන්ත අලේප කරන්න. පොළොවට භාවිතාකරන තීන්ත, ටයිල් හෝ ටෙරාසෝ සුදු පාට හෝ ලාපාට ඒවා පමණක්‌ භාවිතා කරන්න. එහි පළමු තට්‌ටුව නිමකොට ඔබ එහි පදිංචි වී සිටී නම්, නිවසේ වහල වෙනුවට ඇති කොන්ක්‍රීට්‌ තට්‌ටුව දහවල දී වැඩිපුර රත්වන බැවින්, ඔබට සවස 6 - රාත්‍රි 10 පමණ කාලය තුළ නිsවස තුළ ඉතාමත් අපහසුවක්‌ දැනෙනු ඇත. එයට විසඳුමක්‌ විදියට කොන්ක්‍රීට්‌ තට්‌ටුව ඉහළ පැත්තට දිලිසෙන (ටකදිs) රිදීපාට හෝ දිලිසෙන සුදු පාට තීන්ත අලේප කිරීම වඩාත් යෝග්‍ය වේ. නැතහොත් එම සම්පුර්ණ කොන්ක්‍රීට්‌ තට්‌ටුවම ලා පැහැති ද්‍රව්‍යයකින් වසා තබන්න.

උදේ හෝ හවස ඉර අව්වට භාජනය වන වීදුරු දමා ඇති නිවස්‌වල ජනේල සියල්ල දහවල් කාලයේ දී විවෘතකර තබන්න වග බලා ගන්න. දහවල් කාලයේ දී විවෘත නොකරන ජනේලවල එළිය පැත්තෙන් දිලිසෙන (ටකදිs) රිදීපාට හෝ දිලිසෙන සුදු පාට තීන්ත අලේප කිරීමෙන් දහවල් කාලයේ දී කාමරයේ උෂ්ණත්වය වැඩි නොවීමට වගබලා ගත හැකි ය.

ඔබ නිදාගැනීමට පැයකට පමණ පෙර නිදන කාමරයට සිසිල් පරිසරයේ වාතය ගලා ඒමට හැකිවන පරිදි එම කාමරයේ ජනේල සියල්ල විවෘතකර තබන්න. (මේ සමඟම කාමරයට මදුරුවන් පැමිණිය හැකි බැවින්, මදුරු කරදරයට විසදුම් ගැනීමට ඔබට සිදුවනු ඇත.) සේද කොට්‌ට උර හා ඇඳ ඇතිරිලි ඉවත්කර, ලා පැහැති කපු කොට්‌ට උර හා ලා පැහැති ඇඳ ඇතිරිලි භාවිතා කරන්න. ඔබ පොරවන රෙදි භාවිතා කරන්නේ නම්, ඒවා පැයක්‌ පමණ ශීතකරණයේ තබා භාවිතා කිරීම වඩා සුවදායික නින්දකට මඟ පාදයි.

නින්දට යැමට ප්‍රථම අනිවාර්යයෙන් සිසිල් වතුරෙන් ඇඟපත සෝදන්න. ඉන්පසු විදුලි පංකා භාවිතා කිරීම ඉතාමත් ම කාර්යක්‌ෂම වේ. පිටාර විදුලි පංකා (exhaust
fansි) නිදන කාමර සඳහා භාවිතා කිරීම ඉතා සුදුසුය. ඒවා ඔබ නිදාගැනීමට පැය භාගයකට පමණ පෙර ක්‍රියා කරවන්න. වායු සමීකරණ යන්ත්‍ර භාවිතය ඉතා සුදුසු ක්‍රියාවක්‌ වුවත්, එමගින් ඔබගේ විදුලි බිල සඳහා කරනු ලබන දායකත්වය ඉතා ඉහළ බව ද සිහිපත් කරමි.

නමුත් ඔබ විදුලි පංකා භාවිතා නොකරන්නේ නම් තරමක්‌ උණුසුම් වතුර භාවිතාකොට ඇඟපත සෝදා පිහිදා ඉන්පසු ටික වෙලාවකින් ඇඳට යන්න. නින්දට යාමේදී අඳින ඇඳුම් සියල්ල වෙනුවට ඝනකම නැති හෙවත් සියුම් කපු ඇඳුම් පමණක්‌ භාවිතා කරන්න. ඔබගේ රාත්‍රි ඇඳුම්, නිදා ගැනීමට පෙර පැය භාගයක්‌ පමණ ශීතකරණයේ තබා භාවිතා කිරීම ද තවත් සාර්ථක ක්‍රමයකි.

වාහනයක්‌ මිලදී ගන්නා විටදී ලා පැහැයකින් යුත් වාහන පමණක්‌ තෝරාගන්න. ඇතුලත භාවිතා කරන සියලුම අසුන් කවර හා ඇතුළත නිමැවුම් ද්‍රව්‍ය ලා පාට වීම වඩාත් සුදුසු ය.

මෙලෙස ඔබට බොහෝ සාධක හා උපදෙස්‌ ඉදිරිපත් කළ හැකි ය. ඉන් ප්‍රධානත ම හා වැදගත් ම ඒවා යයි මට හැඟෙන ඒවා පමණක්‌ ඔබ වෙත ඉදිරිපත් කළෙමි. අවසාන වශයෙන්, ඔබට සුවදායක ජීවිතයක්‌ පතමි

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya