වන ලැහැබෙන් වැසුණු අභිරහස් දූපත

9:51:00 PM max 0 Comments

 
මාතර, පොල්හේන මුහුදු තීරයේ සිට කිලෝ මීටර් භාගයක් පමණ නුදුරින් පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් ගල්ගොඩියාන දූපත පිළිබඳ ඉතිහාස කතන්දරය වසර 120 ක් පමණ අතීතයට දිවයයි.
තම මුතුන් මිත්තන් ගෙන් හා අතීතයේ පොල්හේන මුහුදු තීරයට ඔබ්බෙන් පදිංචිව සිටි වියපත්වූ පැරැන්නන්ගෙන් දැනගත් පරිදි මෙම අභිරහස් දූපත පිළිබඳව වූ කතාව එක බිඳක් හෝ නොසඟවා අප වෙත දිගහැරියේ, මාතර පොල්හේන මුහුදු තීරයේ පදිංචිකරුවකු සහ, සංචාරක මගපෙන්වන්නකු, මුහුදු ගවේෂකයකු මෙන්ම අති දක්ෂ කිමිදුම්කරුවකු වන ඩබ්.එච්. ජිනදාස හෙවත් ජිනේ අයියා විසිනි. පාසල් වියේ සිටම මුහුද හා බද්ධව සිටිමින් මුහුදට මහත්සේ ආදරය කළ ජිනේ අයියා ප්‍රදේශයේ සියලු දෙනා ඔහුව හඳුන්වන්නේ උක්කුං අයියා යන නාමයෙනි.
ගොඩබිමට මුහුණලා ඉදිවූ ගල්දොර
 උක්කුං අයියා සමඟ කතාබහට එක්වූ අපි ගල්ගොඩියාන දූපත නිරීක්ෂණය කිරීමට අදිටන් කරගනිමින්, මෝටර් බෝට්ටුවකින් දූපත වෙත යාමට සැරසුනෙමු. ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලවලින් සන්නද්ධවූ අපේ පිරිස වසන්තගේ බෝට්ටුවට රිංගුවෙමු. කොණ්ඩ අජිත් යැයි කා අතරත් ජනප්‍රිය චරිතයක් බෝට්ටුව ඉදිරිපස වාඩිලාගෙන වසන්තට උදව් කරමින් ගමන් ගත්තේ මෙයට කලින් කිහිප වාරයක් දූපත වෙත ගිය ගමන් හා එම දූපතෙහි අභ්‍යන්තරය පිළිබඳ අපව දැනුම්වත් කරමිනි.
විනාඩි 20 ක පමණ කාලයක් මුහුදේ රළ පෙළ අතර සටන් වැද, දූපත අයිනේ වෙරළ තීරයේ බෝට්ටුව නවතා ඉන් බැසගත් අප පිරිස තුරු වදුලින් පිරි දූපතට ගොඩවීමු. දූපත වටා මනරම් කඵගල් වෙරළ තීරය හා තිරිවාන ගල් පරවලින් පිරී ඉතිරී ඇති. දූපතට ඉන් මනා ආරක්ෂාවක් ලැබී ඇති අතර මුහුදු ඛාදනය නොවීම නිසා දූපතට කිසිදු හානියක් සිදුනොවන බව දැකගත හැකිවිනි. විශාල ලෙස ගස් කොලන්වලින් පිරී තිබුණද ගස් කොළන් යටින් රිංගා දූපතේ කන්ද මුදුනට නැගගත් අපට පළමුවෙන්ම දැක ගැනීමට ලැබුණේ
තායි සම්ප්‍රදායෙන් ඉදිකරන ලද චෛත්‍යයකි. අතරින් පතර කැඩී බිඳී ගියද මෙය විශ්මයජනක ඉදිකිරීමකි. මුහුදු සීමාවේ සතර කොන නොව අට කොනම ඉතා හොඳින් දර්ශණයවීමට තනන ලද ගල් දොරෙහි රහස් කවුඵ අදටද ඉතා හොඳින් දැකගත හැකිය. සෙල් ලිපි කිහිපයක් අදටද ඇති නමුත් එහි සඳහන් කිසිවක් අද වනවිට පැහැදිලි නැත. සිව් මහල් ගොඩනැගිල්ලක්ද තිබී ඇතත්, අද වන විට එය විනාශවී ගොසිනි. පහළින් එහි සුඵ කොටසක් පමණක් ඉතිරිව ඇත. මෙය සුනාමියට හසුවී විනාශවී ගොස් ඇති බව ජිනේ අයියා අප හා පැවසීය.
අපේ කථා නායකයා වන උක්කුං අයියා දැන සිටින ඓතිහාසික තොරතුරු අනුව අතීතයේ සියම ලෙසත් අද තායිලන්තය ලෙස හඳුන්වන රටේ රජ පවුලක් හා බැඳුනු දිගු ඉතිහාසයක් මෙම දූපතට ඇත. එ රටේ ඔටුන්න හිමි කුමාරයාව සිටි ප්‍රිස්ඩන් චුම්සායි කුමරු එංගලන්තයේ සියම් තානාපතිවරයා ලෙස සේවය නිමකර 1894 දී ශ්‍රීලංකාවට පැමිණ ඇත්තේ, පිය රජුගෙන් පසු සිහසුනට පත්වීමට පෙර මහණදම් පිරීම සඳහාය. එය එකල සියම් රාජවංශයේ සම්ප්‍රදායක් ලෙස පැවැතී ඇත.
පිරිසිදු ථෙරවාදී බුදු දහම පවතින ශ්‍රීලංකාවේ මහණ දම් පිරීමට සුදුසු ස්ථානයක් සොයමින් රත්ගම ධම්මධාර හිමියන් සමඟ දකුණු පළාතේ සැරිසැරූ කුමරු පොල්හේන මුහුදු තීරයට ඔබ්බෙන් පිහිටි ගල්ගොඩියාන දූපත තෝරාගෙන ඇත්තේ දූපතේ ඇති චමත්කාරය මෙන්ම ආරක්ෂා සහිත බවින් යුක්ත බැවිනි තමන්ට මහණ දම් පිරීමට සුදුසු වටපිටාවක් හා පරිසරයක් ඇති බැවින් බව පැවසේ. මෙලෙස චුම්සායි කුමරු විසින් තෝරාගන්නා ලද ගල්ගොඩියාන දූපතේ වෙරළ සමීපයේ ඇතාගල නමින් හැඳින්වෙන ගල් පවුරේ මඟුල් ළකුණක් ලෙස ඇත් රූපයක් කොටවා පැමිණි දිනය වන 1894.06.26 දාතම යොදා තිබූ බව කියැවේ.
1896 වසරේ දී යළි ශ්‍රීලංකාවට පැමිණි චුම්සායි කුමරු කිරුළට පෙර මහණ වීම සඳහා 1896 නොවැම්බර් 01 වැනි දින වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුබූති නාහිමිපාණන්ගේ ශිෂ්‍යයකු ලෙස ජිනවරවංශ යන නමින් වස්කඩුවේ අභිනවාරාමයේ දී පැවිදි දිවියට ඇතුලත්වී ඇති බවත්, සිවුරු පෙරවීමට පෙරාතුව එතෙක් තමන් සතුව තිබූ රන් කඩුව දෙකට කඩා පසකට දැමූ
කුමරු බෞද්ධ ප්‍රතිපත්ති අනුව දිවි ගෙවීමට පොරොන්දුවී ඇති බව ද ඉතිහාස කතාවේ සඳහන්වන බව පැවසේ.
ගල්ගොඩියාන දූපතට පැමිණි ජිනවංශ හිමියන් මහණ දම් පිරීම අරඹා ඇති අතර උන්වහන්සේගේ සියලු අවශ්‍යතාවයන් සපුරා දී ඇත්තේ පරමුල්ලේ පදිංචිව සිටි ඕදිිරිස් ද සිල්වා ගජවීර හා හේවාගලමුලගේ බබුන් අප්පු යන මහත්වරුන් විසිනි. අවට ගම්වැසියන්ද ජිනවවංශ හිමියන්ට අවශ්‍ය දානය හා සත්කාර කරන ලද බව කියැවේ. ගම්වාසීන් ජිනවරවංශ හිමියන්ව හඳුන්වනු ලැබ ඇත්තේ කුමාර හාමුදුරුවෝ යන නමිනි. ඇප උපකාර කළ පිරිස් විසින් දූපතට යාමට ඒමට කළුගල් නියරක් හා ලී අත්වැලක්ද ඉදිකර දී ඇත. මෙම කඵගල් අතුරා තනා තිබූ පාර අදටත් දැකගැනීමට ඇතත්, මේ වන විට එහි ගමන් කළ නොහැකිව ඇත්තේ අතරින් පතර කඵගල් නැතිවීම හේතුවෙනි.
දූපතට යාම් ඊම් සඳහා ගල් අතුරා තිබූ ගමන් මාර්ගය
 උන්වහන්සේට අවශ්‍යවූ පානීය ජලය හා පළතුරු රැගෙන ගොස් ඇත්තේ ගොඩබිමට පැමිණීමෙන් බව සඳහන්වේ. කුමාර හාමුදරුවන්ට ඇප උපස්ථාන කළ ඕදිරිස් ද සිල්වා ගජවීර මහතා අඩි 6 යි අඟල් 3 ක් උසැති කඩවසම් පුද්ගලයෙකුවූයෙන් කුමාර හාමුදුරුවන්ට ගොඩබිමට ඒමට අවශ්‍යවූ විට, ඔහුගේ කරමතින් උන්වහන්සේව ගොඩබිමට වඩමවාගෙන පැමිණීම සාමාන්‍යයෙන් සිදුවූවක් බව සඳහන් වේ.
අද වන විට නටබුන්වී ඇති ගල්ගෙය හා සිව් මහා දොරටුවලින් සමන්විත මෙම චෛත්‍ය ජිනවංශ හිමියන්ගේ සැලසුම් අනුව ඉදිකර ඇති බව කියැවෙන අතර ඉතා ශක්තිමත් ලෙස තනා ඇති බව අදටත් දක්නට ලැබේ. දාගැබ් වහන්සේට නැගෙනහිර දෙසින් කඵගලින් නෙලන ලද භාවනා කුටියක්ද තිබී ඇති බව දක්නට ඇත.
තම පිය රජු සිහිවීම පිණිස මෙම ස්ථානය චූලාලංකාරාමය ලෙස නම්කර තිබූ බව ඉතිහාසය හොඳින් දත් අය සඳහන් කර ඇති අතර, වසර 15 ක් පමණ මහණදම් පුරමින් ශාසනයට සේවයක් කළ කුමාර හාමුදුරුවන්ගේ පිය රජු 1911 වසරේ දී අභාවප්‍රාප්තවූ බවට විදුලි පුවතක් ලැබුන බැවින් උන්වහන්සේ සිවුරු හැර, යළි තම මව්රට වන සියම් රට බලා ගොස් සිහසුනට පත්වී දැහැමින් රට පාලනය කර ඇති බවත් 1936 මාර්තු මස 16 වැනි දින අභාවප්‍රාප්තවූ බවත් සඳහන් වේ.
කුමාර හාමුදරුවන් සියම් රටේ රජු පදවිය ලබාගැනීමට පිටත්ව ගිය පසු, කොටහේනේ දීපදුත්තාරාමයේ ඥානාලෝක හිමියන්ගේ ගෝල නමක්වූ ජර්මන් ජාතික වප්ප නම් හිමි නමක් ගල්ගොඩියාන දූපතේ විසූ බව සඳහන් වේ.
දෙවන ලෝක මහා සංග්‍රාමයේ මිත්‍ර පක්ෂය ලෙස හැඳින්වුනේ අමෙරිකාව, බ්‍රිතාන්‍ය. චීනය, රුසියාව, ප්‍රංශය ප්‍රධාන කොට ගත් රාජ්‍යයන් වන අතර සතුරු පක්ෂය වූයේ ඉතාලිය, ජර්මනිය, ජපානය ප්‍රධාන රාජ්‍ය සමූහයකි. එකළ මිත්‍ර පක්ෂයට එරෙහි රහස් ඔත්තු මධ්‍යස්ථානයක් ලෙස මෙම දූපත යොදාගෙන තිබූ බව පැවසේ. චෛත්‍යය ඉදිකර ඇත්තේද අපූරු ආකාරයකට බව අතීතයේ විසූ මුතුන් මිත්තන්ගෙන්දූපතේ අභිරහස් දැන සිටි උක්කුං අයියා දැනසිටි කරුණු අපට කී අතර එය සත්‍යයක් වන්නට පුඵවන් බව අපටද වැටහී ගියේ අප සියැසින් දුටු යම් යම් කරුණු අනුවය.
මුහුදු සීමාවේ සතර කොණ පමණක් නොව අට කොණම මැනවින් දර්ශනය වන අයුරින් තනා ඇති චෛත්‍යයේ රහස් කවුඵ අදටත් එසේම දක්නට ඇත. මෙය දකින ඔනෑම කෙනෙකුට පෙනී යන්නේ පහන් තැබීමට තුන් හුලස් ආකාරයේ කවුඵ තනා ඇති බවකි. නමුත් බිත්තිවල තනා ඇති කවුඵවල උපක්‍රමශීලීව සංඥා යන්ත්‍ර සඟවා තබාගන්නට මෙම කවුඵ උපයෝගී කරගෙන ඇති අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී එම සංඥා යන්ත්‍ර සඟවා තැබීමට හැකි ආකාරයට පහසුකම් සලස්වා තිබී ඇත. මෙම කවුඵවලින් ඈත මුහුදු තීරයේ ගොඩබිම මනාව දර්ශනය වන නමුත් නිරීක්ෂණය කරන කිසිවකු හෝ ගොඩබිමට දිස් නොවේ.
ගල් දොර ද අපූරු නිර්මාණයකි. එහි කවුඵ කිහිපයක් සතර අතට ඇති අතර, එම කවුළුවලින්ද ගොඩබිම මනාවට දිස්වේ. එම ගල්දොර ඉදිකර ඇති ආකාරය පුදුමසහගතය. යන්ත්‍රෝපකරණ කිසිවක් නොතිබූ යුගයක මෙතරම් විශාලවූ ගල් ඔසවා එකින් එක තබා ගල්දොර ආරක්ෂිත පවුරක් සේ ඉදිකරන ලද්දේ කෙසේදැයි සිතාගත නොහැකිය. එම ඉදිකිරීම පුදුම සහගතය. ඒ අයුරින් බැලූ කළ ඉදිකිරීම්වලට විශාල පිරිසක් සහභාගීවන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. කෙසේ වෙතත් කුමාර හාමදුුරුවන්ගේ විස්මිත සැළසුමක් බව පිළිගත හැකිය.
දෙවන ලෝක මහා සංග්‍රාමය පැවැති සමයේ දී පොල්හේන මුහුදු තීරයේ ගොඩබිමට වන්නට බ්‍රිතාන්‍ය හමුදාව කඳවුරු බැඳ ගෙන සිට ඇත. එක් අලූයම් කාලයක මෙම දූපත වැටලූ හමුදාවෝ දූපතේ සියලු ස්ථාන දැඩි පරීක්ෂාවට ලක් කොට එහි වැඩසිටි ජර්මන් ජාතික වප්ප හිමියන්ව අත්අඩංගුවට ගෙන මාංචු දමා ගොඩබිමට රැගෙන විත් ඇත. දූපතේ සඟවා තිබූ බව කියන රහස් සංඥා ලබාගන්නා හා පිටතට සංඥා යවන උපකරණ රාශියක්ද බෝට්ටුවලින් ගොඩබිමට ගෙන එන අයුරු දුටු අය සිටි බව ඉතිහාසය හොඳින් දන්නා බොහෝ දෙනකු ප්‍රකාශ කර ඇති බව පැවසේ.
ඉතිහාසයේ රැඳී තිබූ කතාවල සත්‍ය බවක් ඇතැයි අපටද සිතුනේ මෙම අභිරහස් ඉදිකිරීම් දැකීමෙන් හා චෛත්‍යයේ හා ගල්දොරෙහි උඩට අපහසුවෙන් හෝ ගොඩවී රහස් කවුළුවලින් ගොඩබිම දෙස බැලූ මොහොතේදීය. ගොඩබිමෙහි හෝ ඈත මුහුදෙහි සිටින කිසිවෙකුට හෝ දර්ශනය නොවී දූපතේ සිට ගොඩබිම ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි ලෙස සියලු දෑ නිර්මාණය කරනු ලැබ ඇති බව පෙනේ.
රුහුණේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ රමණීය පොල්හේන මුහුදු දිය තටාකය වෙත සෙනසුරාදා, ඉරිදා හා වෙනත් නිවාඩු දිනයන්හී දහස් සංඛ්‍යාත පිරිස් පැමිණ මුහුදට බැස කෙළි දෙලෙන් පසුවෙති. වෙරළ තීරයට කිලෝ මීටරයක් පමණ ඈතින් මුහුදේ දිගටම පිහිටා ඇති ගල්පරය ස්නානය කරන සැමට ආරක්ෂාව සපයති. ඔබත් යම් දිනෙක පොල්හේන මුහුදු තීරය වෙත පැමිණ තිබුනේ නම් මුහුදු දිය තටාකයට ඈතින් මුහුදින් වටවී ඇති ගස් කොලන්වලින් පිරී පවතින විශාල ගල් පර්වයතයක් බඳු මෙම දූපත දැක ඇතුවාට කිසිදු සැකයක් නැත. එසේ නම් යම් දිනෙක ඔබ පොල්හේන මුහුදු වෙරළට පැමිණි දිනෙක මෙම අභිරහස් දූපතට ගොඩවුවහොත් රහස් ඔත්තු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට යොදා ගැනුන ගොඩනැගිලි අදටත් යම් මට්ටමකින් දැක බලාගත හැකිය. මෙම ගොඩනැගිලි ඉතා සූක්ෂම ආකාරයෙන් සැලසුම් කර ඇති ආකාරය ඔබේ දෑසින්ම දැක බලාගත හැකි වනු ඇත.
අද වන විට දූපත අනාරක්ෂිත තත්ත්වයට පත්වී ඇති බව පෙනේ. චෛත්‍යය වටේට යටින් වළවල් හාරා ඇති බව දක්නට ලැබුන අතර නිධන් හෑරීමක් සිදුවන බව සිතිය හැකි බව ගම්මුන් පවසති. පුරාවිද්‍යා වටිනාකමක් ඇති ගල්ගොඩියාන දූපත සංරක්ෂණය කිරීම වගකිවයුතු බලධාරීන්ගේ හා ශ්‍රීලංකාවාසී ජනතාවගේ යුතුකම හා වගකීම වන්නේය.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya