දෙසැම්බර් 25 වැනිදා ඇස්ටරොයිඩයක් පෘථිවිය අසලින් යයි
නන්තල් දින සන්ධ්‍යාවේ පෘථිවිය අසලින් යන අති විශාල ඇස්ටරොයිඩයක් හේතුවෙන් පෘථීවියේ භූකම්පන හෝ ගිනි කඳු සක්‍රිය වීමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ හා තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.2003 ඉච් 220 ලෙස නම් කර ඇති මේ ඇස්ටරොයිඩය මුල් වරට නිරීක්ෂණය කර ඇත්තේ 2003 වසරේ සැප්තැම්බර් 29 වැනි දින ඇරිසෝනාහි ලොබෙල් අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් බව කීර්ති මහතා කියයි.
නත්තල් දින සන්ධ්‍යාවේදී සැතපුම් එකහමාරක් පළලින් යුත් මේ ඇස්ටරොයිඩය මිහිතලයට සැතපුම් මිලියන 6.7ක දුරකින් තත්පරයට සැතපුම් 17.5ක වේගයකින් ගමන් ගන්නා බවට විද්‍යාඥයන් සනාථ කර ඇති බව කීර්ති වික්‍රමරත්න මහතා කියයි.
නාසා ආයතනය පෘථීවිය ආසන්නයේ තිබෙන මෙවැනි ග්රහක කොටස් 12,992ක් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අතරින් ඇස්ටරොයිඩ 1607ක් උපද්‍රවයන් ඇති කළ හැකි ඒවා ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම මෙවැනි ඇස්ටරොයිඩ හා වල්ගා තරු ආදිය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාව ඉදිරි වසර 100දී 0.01%ක් වැනි ප්‍රතිශතයක් වේ යැයිද නාසා ආයතනය අනුමාන කරන බවද කීර්ති මහතා පැවැසීය.
අදින් වසර මිලිනයන 65කට ප්‍රථම මිහිතලයේ සිටි දැවැන්තයා වන ඩයිනසෝරයන් වඳ වී ගියේ ඇස්ටරොයිඩයක් පෘථිවිය හා ගැටීම නිසා බවත් යම් හෙයකින් සැතපුම් එකහමාරක පමණ ඇස්ටරොයිඩයක් පෘථිවියේ ගැටුණහොත් එය මහද්වීපයක ප්‍රමාණයක විනාශයක් ඇති කරනු ඇතැයි විශාරදයන් පෙන්වා දෙන අතර ඉන් ඇතිවන ව්‍යසනය අති මහත් වන බවද කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කෙළේය.
”නාසා ආයතනය හා අනෙකුත් තාරකා විද්‍යා විශේෂඥයන් එම අදහස මුළුමනින්ම බැහැර කරන බව ලෝක මාධ්‍ය කියනවා”. ඒත් පසුගිය ඔක්තෝබර් 31 වැනිදාට හැලොවින් රාත්රියේදී පෘථිවිය අසලින් ගිය අභ්‍යවකාශ වස්තුව මුලදී හඳුනා ගත්තේ ග්රහකයෙක් විදියට. පෘථිවියට කිලෝමීටර් 4,86,000ක් දුරින් ගමන් ගත් එය ඇස්ටරොයිඩයක් නොව මියගිය වල්ගා තරුවක් බව හඳුනා ගැනීමට නාසාහි හවායි හි පිහිටි අධෝරක්ත දුරේක්ෂය පර්යේෂණ වැඩසටහනට පුළුවන් වුණා.
ඉතින් කොච්චර තාක්ෂණය තිබුණත් එම එඊ 145 හැලොවින් අභ්‍යවකාශ වස්තුව අස්ටරොයිඩයක්ද, වල්ගා තරුවක්ද, මියගිය වල්ගා තරුවක්ද යන්න පවා අවසාන මොහොත තෙක් පැවැසීමට නාසා ආයතනයට අපහසු වුණා. අපට දෘශ්‍යමාන වන විශ්වීය සංසිද්ධි අපූර්ව මෙන්ම අද්භූත බවක්ද මවා පානවා. මේ 2003 ඉච් 220 ලෙස නම් කරලා තියෙන ඇස්ඩරොයිඩය සරලවම කිව්වොත් මෙම යෝධ ඇස්ටරොයිඩය පෘථිවිය හා සඳ අතර දුර මෙන් 28 ගුණයක් දුරින් ගමන් කරනවා. ඒ කියන්නේ කිලෝමීටර් මිලියන 11ක දුරින් තමයි මේක ගමන් කරන්නේ.” කීර්ති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් එලෙස කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රභාත් හේවාගීගනගේ මහතා පැවැසුවේ මීට පෙරද පෘථිවිය ආසන්නයෙන් ඇස්ටරොයිඩ ගමන් කර ඇති අතර එලෙස ගමන් කිරීම නිශ්චිතව පෘථිවියට හානියක් වේ යැයි ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවය.
එමෙන්ම පෘථිවියේ ගිනි කඳු හා කම්පන ඇතිවීම හා මේ ඇස්ටරොයිඩය අතර සම්බන්ධතාවක් නොමැති බව පැවැසූ ඒ මහතා යම් හෙයකින් ඇස්ටරොයිඩය පෘථිවියට වඩාත් සමීප වුවහොත් එහි කොටස් පෘථිවියට වැටීමේ ඉඩකඩ ඇතත් එය සිදුවීමේ ඉඩකඩක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ මෙවැනි ප්‍රමාණයේ ඇස්ටරොයිඩ පෘථිවියේ සිට මේ දුර ප්‍රමාණයෙන්ම මීට පෙරද ගමන් කර ඇති බවය.
එහෙයින් මේ ඇස්ටරොයිඩය හේතුවෙන් භූමිකම්පා හෝ ගිනි කඳු සක්‍රිය වීමක් කිසිවිටෙකත් සිදු නොවන අතර පෘථිවියට හානියක් සිදු නොවන බවත්ය.
0 comments: