අම්පාරේ ගොනාගොල්ලට ආ බව කියන පිටසක්වළ ජීවින්ගේ නවතම වර්ථාව
දෙසතියකට ඉහතදී පත්තර සිරස්තල අතරේ අපූරු කතාවක් තිබුණි. ඒ මාදුරු ඔය ජලාශයේ මසුන් මරමින් සිටි ධීවරයින් පිරිසක් පදියතලාව, දෙසින් විශාල ආලෝකයක් පහත් වෙනවා දුටු බවය. එම අත්භූත විශාල ආලෝක කදම්බය විනාඩි හතළිහක කාලයක් පමණ තිබූ බව ධීවරයෝ පවසා තිබුණි. ඒ ඉකුත් 13 දා රාත්‍රී 8.10 ට පමණය. වැහිබර අහසෙ වලාකුළු මතට පතිත වූ දීප්තිමත් එළිය පොළවටම පහත්වෙන අන්දමක් දුටු ධීවරයෝ ඒ ගැන නිවෙස්වල සිටි අයටද කීහ. පෝදා සඳ පෑව්වා සේ එළිය දුන් එම ආලෝක ධාරාව පිළිබඳ පුවතේ උණුසුම මැකී යන්නටත් පෙර අම්පාර ගොනාගොල්ල වෙල්යායේ අමුතු සලකුණක් තිබූ බවට කතාවක් දැනගන්නට හැකි විය. මේ කුමන සලකුණක්ද..? ඒ ගැන මුලින්ම කීවේ අපේ මිතුරෙකි පිටසක්වල ජීවීන් ගොඩබැහැලා ඔහු කීවේය. මේ සිද්ධිය පමණක් නොව පිටසක්වල ජීවීන් ගැන විවිධ කතා ඉකුත් කාලයේ අසන්නට ලැබුණි. මේ නිසා අපි දින දෙක තුනකට ඉහතදී අපි අම්පාරේ ගොනාගොල්ල වෙල්යාය සොයා ගියේ මේ කතාවේ ඇත්ත නැත්ත බලා ගැනීමටය.ගොනාගොල්ල නගරයට යන විට සවස තුන පමණ කිට්ටු වෙලාය. තුන්රෝද රථ ගාලේ සිටි සගයෙකු ගෙන් අපි වෙල්යාය පිළිබඳව විමසුවෙමු.
ආ... මහත්තයා කුරුමිට්ටෝ බැහැපු වෙල්යායද තව කිලෝමීටර් තුන හමාරක් විතර යන්න කෝස් එකක් හම්බවෙයි එතන වෙල්යායේ....
එම ස්ථානයට ළඟාවන විට ඊට යාබද කුඹුරක නියර කොටමින් සිටි ගොවි මහතෙක් දවසෙ වැඩ නිමා කිරීමට ඇළෙන් ඇඟපත සෝදා ගැනීමට පැමිණ සිටියේය.
එදා හරියටම පන්සලේ කඨිනේ දවස. රෑ තිස්සේම වැස්ස අපි කඨිනේ වඩම්මද්දි අකුණු ගහනවා වාගේ එකඑක සද්ද ඇහුණා. විදුලි කොටනවා වාගේ එළියක් තිබුණා. හැබැයි වැස්සයි ගෙරවිල්ලයි හින්දා ගණන් ගත්තෙ නෑ. පහුගිය 18 දාට එළි වෙනකොට සුනිල් අයියා කිව්වා කුඹුරේ අමුතු සලකුණක් තියෙනවා කියලා. හැමෝම ඒක බලන්න දිව්වා. ඒ සලකුණ නම් අමුතුයි ගොනාගොල්ල, හැටේ හන්දිය, ගලපිටවෙල පදිංචි ජී.ඩබ්. ශාන්ත වික්‍රමසිංහ (49) ගොවි මහතා අප සමග කීවේය. සිද්ධිය 17දා රාත්‍රියේ හෝ 18 දා අලුයම වූවා නම් මේ වනවිට දින පහක් ගතවී ඇත. කඩින් කඩ මහ වැසිද පතිත වෙයි. කුඹුරේ තිබුණාය කියන සලකුණ සොයා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි සිතුනද අර්ධ කවාකාර අඩි : 50 ක පමණ සලකුණක් අපට දක්නට හැකි විය. පුරන් ලියද්දක නියරක් විශ්කම්භයසේ ගෙන අදින ලද වෘත්තයට අඩක් වැනි මෙම සලකුණ කුඹුර මඩවන්නට මඩ රෝද සවිකළ ට්රැක්ටරයකින් කළ දෙයක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එම අර්ථ වෘත්තයෙහි දෙපැත්තේ පළල අඩි පහක් පමණ වේ.
තාත්තා සාමාන්‍යයෙන් පාන්දර හතරට නැගිටිනවා. පහට කුඹුරට එනවා. එදා වපුරන දවස තාත්තා උදේ පාන්දර 6ට කුඹුරට ගියා. ටික වේලාවකින් ආපසු ආවා. ඇවිත් කිව්වා අල්ලපු කුඹුරේ පුරන් ලියද්දට අමුතු වාහනයක් ඇවිල්ලා වගේ ලොකු සලකුණක් තියෙනවා කියලා. කුඹුරේ අයට තේ ගෙනියද්දි මමත් ගිහින් බැලුවා. ඊට පස්සෙ තාත්තා කට්ටියට කියලා ආපහු ගිහින් බැලුවා. පොලීසියටත් මාධ්‍යයටත් මේ ගැන කිව්වා. මඩ වීල් එකක් ගියා වගේ දැති දැති කට්ටා හැදිලා තිබුණා. ඒ කටත් එක්ක වළවල් එක ගානට පේළියට තිබුණේ අඟල් අටක් විතර ගැඹුරට හැරිල. මේක ගොඩක් පළලයි. මඩවීල් එකකට මෙච්චර දෙයක් කරන්න බෑ. එක පාරක් තමයි කට්ට තිබුණෙ කිහිප සැරයක් එහා මෙහා ගිය වගක් නෑ. කුඹුරට ඇතුළු වෙච්ච තැනක් නෑ. පිටි වෙච්ච තැනක් නෑ. එසේ කියන්නේ මෙම පුරන් කුඹුරට උඩු පැත්තෙන් පිහිටා තිබෙන නිවසේ පදිංචිකාරියක වන ජී.වී. කාංචනා මධුමිහිරි (24) ය. මෙම අත්භූත සලකුණ මුලින්ම දැක ඇත්තේ ඇයගේ පියායි. පියාගේ නම ජී.වී. සුනිල් ශාන්ත (50) ය. ඔහු රැකියාව කරන්නෙ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේය.
අපි එහි යනවිටත් ඔහු රැකියාවට ගොස් තිබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් විස්තර කළ ඔහුගේ දියණිය පවසන්නේ මිනිස් ක්‍රියාකාරකමකින් කාටත් හොරෙන් කුමන උපකරණයකින්වත් මෙවැනි සලකුණක් තැබිය නොහැකි බවයි. එවන් වුවමනාවක් තිබෙන ගොවීන් ඉන්නට පුළුවන්කමක් නැති බවද ඇය කියන්නීය.
කෙසේ වෙතත් මේ අරුම පුදුම සලකුණ මුලින්ම දුටු සුනිල් ශාන්තටද අපි කතා කළෙමු.
මම කුඹුරේ යද්දී තමයි මේක දැක්කෙ. අසාමාන්‍ය පාරක් තිබුණා. පහුගිය (17) දා තමයි දැක්කෙ. ඒ දවස් ටිකේම වැස්සා. ඒ නිසා ඊට දවස් දෙකතුනකට කලින් වෙන්න ඇති කියලා තමයි මට නම් හිතෙන්නෙ. මඩවීල් එකක් ගියාම කට්ට හිටින්නෙ. ඒ වගේ ලකුණු තිබුණා. පස්සේ මම ගෙදර ඇවිල්ලා ගෙදර කට්ටියට කිව්වා. හන්දියට ගිහින් හන්දියේ අයටත් කිව්වා. ඊට පස්සේ තමයි මාධ්‍යයෙන් එහෙම ආවේ. ගුවන් හමුදාවෙනුත් ආවා. එයාල නම් කියන්නෙ එහෙම මොකක් හරි යානයක් ආවා නම් එයාලගේ රේඩාර්වලට වැටෙන්න ඕනේ කියලා. ඒත් ඉතින් මේක ආව තැනක් ගිය තැනක් නෑනෙ. සමහර විට ඔය මහ ගස් එහෙම කියතකින් කැපුවා වගේ. අකුණු ගහලද කියලා හිතාගන්න බැරි දේවල් වෙන්නෙ එහෙම එකක්ද...?
සුනිල් ශාන්ත කියන්නේ එම සලකුණ දින දෙක තුනකට කලින් ඇතිවන්නට ඇති බවයි. ඔහුට අනුව නම් එය මාදුරුඔයේ ධීවරයින් දැක්ක එළියද විය හැකිය. එහෙත් මෙම සිදුවීම වන්නට ඇතැයි ගැමියන් වැඩිදෙනා අනුමාන කරන්නේ 17 රෑ හෝ 18 දා අලුයම් කාලයේ හෝය. මාදුරුඔය ජලාශයෙන් ධීවරයින් අත්භූත එළිය දකින්නේ 13 වන දා රාත්‍රියේය. ඇතැම් විට මෙම සිදුවීම දෙක අතර සබඳතාවක්ද තිබිය හැකිය.
මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට අපේ රටේ තවමත් නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිකම බරපතළ ගැටලුවකි. දැන් කාලයක සිට අපේ රටට විවිධ එළි පෙනෙන්නට ගනියි. විවිධාකාර කැබලි වැටෙන්නට ගනියි. විවිධාකාර වැසි වසින්නට පටන් ගෙන ඇත. එසේ වුවත් මේ වැටෙන්නේ මොනවාද..? එළි මොනවාද? තවමත් මුළු මහත් රට වැසියො කුතුහලයෙන් පිරි දෙගිඩියාවකින් බලා සිටිති. අපගේ මතකයට නැගෙන්නේ පිටසක්වල ජීවය පැවැතිය හැකි බවත් ඩයටම මගින් පිටසක්වල ජීවීන් විශ්වය පුරා ගමන් කරන බවටත් ආන්දෝලනාත්මක මතයක් පළ කරමින් අරලගංවිල කුඩාවැව කුඹුරට වැටුණු උල්කා කැබලි පිළිබඳ පුවතයි. එම කුඹුර අයත්වූයේ ටිකිරි බණ්ඩා ගොවි මහතාටය.
එහි පාෂාණ කැබලි පිළිබඳවත් සොයා බැලීමට ඉදිරිපත් වන්නේ කල් ගතවෙලාය. එම සිදුවීම සම්බන්ධයෙන් නම් ලොව ප්‍රකට පර්යේෂකයෝ හා විද්වත්හු පර්යේෂණ කළහ. එහෙත් ගොනාගොල්ලේ සිදුවීම පර්යේෂකයින් පවා බැහැර කරන බවක් පෙනෙන්නට තිබේ. පොලීසිය, ගුවන් හමුදාව, මාධ්‍යවේදීන් හැරුණු කොට මෙම ස්ථානය පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයකට මතෛක් කිසිවෙක් පැමිණ නැත.
කෙසේ වෙතත් මේ පිළිබඳව අපි පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතනයක් වන ඉ.ඹ්.උ.ජ්..අ.ඒ සංගමයේ පැරණිම සාමාජිකයෙකුවන සාලිය ද සිල්වාට කතා කළෙමු.
මේ සිදුවීමේ පින්තූර කිහිපයක් මට ලැබුණා. ඒවා විශ්ලේෂණය කරාම අමුතු දෙයක් සිදු වී ඇති බවට ඉඟි තිබෙනවා. අපේ ලංකාවේ කොහේවත් වාහනයක් නෑ ඔහොම සලකුණක් තියන්න පුළුවන්. එහෙම සලකුණක් තියලා ආ ගිය අතක්වත් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. මෙය පිටස්තරින් පැමිණි කිසියම් යානයක හෝ වස්තුවක සලකුණක් විය හැකියි. සාමාන්‍යයෙන් අධි තාක්ෂණික යානයක් එනවා නම ඒ භූමියෙහි විකිරණ ද්‍රව්‍ය ඵජධපජඩ කිරීම නිසා රස්නේ නිසා පිළිසුම් තිබෙන්නට ඕනෑ. නමුත් මෙතැන එහෙම දකින්නත් නෑ. හැබැයි මේ තිබෙන සලකුණ හරියට වගා කවයක් එකක් වගේ. වගා කවයක් වගේ දේවල් රුසියාව, ඇමෙරිකාව වගේ රටවල මහා පරිමාණ තිරිඟු වගා බිම්වල ඇතිවී තිබෙනවා. හිතා ගන්න බැරි විදිහේ රටාවන් උදේ එළිවෙනකොට හැදිලා තියෙනවා. ඒවා අසාමාන්‍ය ක්‍රියාකාරකම් විදිහටයි දැනට හඳුන්වන්නේ.
“මේ නියර අයිනේ තැන් හතරක ගුල් වගේ සිදුරු තුන තුන තිබුණා. ඒවත් ඇඟල් හයක් විතර ගැඹුරුයි. ජී.ඩබ්. සිරියාවතී (40) කියන්නීය එම අදහස් දැක්වීම කැමරාවක ආධාරක රඳවනයක් සිට වූ ආකාරය සිහි ගන්වයි. ඒවා මොනවාද? ගැමියනුත් නැවුම් දේ සොයා යෑමට අප තුළත් තිබෙන කුතුහලය දෙගුණ තෙගුණ කළේ එම කතාවයි. ගුවනින් ආ යානයක් නැවැත්වූ ආකාරයක් අපගේ සිතට නැගෙයි. එහෙත් මේ පිළිබඳව සත්‍ය සෙවීමට තවමත් හැකි වී නැත. එබැවින් පිටසක්වල ජීවය පවතින බවත් ඩයටම හරහා විශ්වය පුරා ගමන් කරන්නේය. යන්තන් ලොවට හෙළි කළ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කර ගැනීමට අපි අදහස් කළෙමු. එය අසාර්ථක විය. එනමුත් තාරකා විද්යාගවේෂක කීර්ති වික්‍රමරත්න මේ ගැන දක්වන්නේ මෙවන් අදහසකි.
“පිටසක්වල යානා ආවා කියලා ලෝකයේ මුලින්ම කතා වෙන්නේ 1966 අප්‍රේල් මාසේ 06 වැනිදා මෙල්බන් නුවර වෙස්ටෝල් නගරයට. වැඩිම පිරිසක් දුටු සිද්ධියත් එය. පිටසක්වල යානා දෙකක් ආ බවයි කියවෙන්නේ. පාසලක පිට්ටනියකට ගොඩ බෑ. මෙම යානය නිසා එහි සිටි සියලු දෙනා දැඩි භීතියකට පත්වෙලා තිබෙනවා. හිතාගන්නවත් බැරි වේගයකින් ඒ වගේම හඬක් පිට කරමින් මේ යානා ඇවිත් තියෙන්නෙ. අදටත් එය දුටු අය ජීවතුන් අතර ඉන්නවා. එක ළමයෙක් ගුරුවරුන්ටත් ළමයින්ටත් නොකියා මේ දෙසට ගියා. ඒ ළමයා සිහිමුර්ඡා වී වැටී තිබෙනවා. පසුව එතැන පරීක්ෂා කරන කොට තණකොළ එහි පිළිස්සීමකට ලක්ව තිබුණා. එහි උෂ්ණත්වය විකිරණ ශීලීතාවට මේ දේ වෙලා තිබුණා.
දැන් මේ ගොනාගොල්ලේ සිද්ධියත් එක හෙළා බැහැර කරන්න හොඳ නැහැ. අඩුම තරමේ මෙම ස්ථානය පරීක්ෂා කළ යුතුයි. ගයිගර් කවුන්ටර් ඒකවත් යොදාගෙන විකිරණශීලීතාවක් තිබේද කියලා බලන්න ඕන මතෛක් ලෝකයේ හමු නොවුණු මූලද්‍රව්‍යයක් තිබුණොත් අපට කියන්න පුළුවන් අමුතු දෙයක් වෙලා තියෙනවා කියලා.”
කුතුහලයත් භීතියත් තුරුළු කරගත් අරලගංවිල මිනිසුන් මෙන් දැන් අම්පාර ගොනාගොල්ලේ මිනිස්සුද කුතුහලයෙනුත් භීතියෙනුත් පසුවෙති. ඔවුන්ට සහනයක් ලැබෙන්නේ මේ කුමක්දැයි කිවහැකි පර්යේෂණ කණ්ඩායමක හෙළිදරව්වකිනි. ගොනාගොල්ල ගලපිටගල ශ්‍රී පූර්වාරාම විහාර වාසී පඤ්ඤානන්ද හිමියෝ ඊට ඉඟි සැපයූහ.
“බුදුන් වහන්සේගේ දේශනා අනුව නම් මේවා අපට නිකන් බැහැර කරන්න පුළුවන්කමක් නෑ. කවුරුවත් මේ ආවෙ මොකක්ද කියලා දැක්කෙවත්, හඬක් ඇහුනෙවත් නැති වුණාට මිනිහෙකුට කරන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ආව තැනක් නෑ. ගිය තැනක් නෑ හරියට ස්ටෑන්ඩ් එකක් ගහලා මිනිස්සුන්ට හොරෙන් කරපු දෙයක් වගේ. මගේ අදහස නම් මනුෂ්‍යයෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ කියන එකයි. අපි සමහර දේවල් අවඥාවට හාස්‍යයට ලක් කරනවා මිස ඒ ගැන ගැඹුරින් හොයන්නේ නෑ. කුරුමිට්ටෝ බැහැලා කියලා. කට කතා ගොඩක් පැතිරිලා තියෙනවා. වගකිවයුතු ආයතන මේ මොකක්ද කියලා කියන්න ඕන. බුද්ධ දේශනාවේ තියෙනවා. අපට නොපෙනෙන අපි නොසිතන බොහෝ දේ සිදුවන බව.”
සැබවින්ම කළ යුත්තේ මාදුරුඔයේ මසුන් මරන්නන් දුටු එළියත් මෙම සිදුවීමත් අතර සම්බන්ධයක් තිබේද යන්න සොයා බැලීමයි
ලක්බිම වර්ථාව
0 comments: